Thursday, April 21, 2016

අධ්‍යාපන විෂමතාවයේ ඇත්ත ඇති සැටියෙන්

ලංකාවේ නිදසස් අධ්‍යාපනය පාසල් හා සරසවි අධ්‍යාපනය යන්නෙන් ක්‍රියාත්මක වේ. මෙම නිදහස් අධ්‍යාපනය ලබා දෙන්නේ රජය විසින් රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කර බැවින් මෙවැනි ආයතන රජයේ පාසල් ද, රජයේ විශ්වවිද්‍යාල ද යනුවෙන් හැදින් වේ.  මිට අමතරව පිරිවෙන් අධ්‍යාපනයක් ද, පුද්ගලික අධ්‍යපනයක් ද අප රටේ ඇත. මෙම පුද්ගලික අධ්‍යාපන ක්‍රමවේදය අද ඊයේ ඇති වුවක් නොවේ. එය නිදහස් අධ්‍යාපනය ඇති වීමට පෙර සිටම පැවතුනි. මේ බොහොමයක් පුද්ගලික පාසල් නිදසස් අධ්‍යාපනයත් සමග රජයට පවරා ගැනුනි.

කෙසේ නමුදු නිදසස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය වසර තිහක් පමණ කාලයක් තිස්සේ තවමත් ඇවිලෙමින් පවතී. මේ අරගලය හුදෙක්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ගේ අරගලයක් විය. ඒ අරගලය ජාතික මට්ටමට ගෙන ගියානම් එය කලේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් මිස අන් කිසිවක් නොවේ. එදා සිට අද දක්වා මේ අරගල වල නායකත්වය දැරුවේ විශ්වවිද්‍යාල තුල ආණ්ඩු විරෝදී ශිෂ්‍ය කණ්ඩායම් වීම විශේෂත්වයකි. එදා නිදසස් අධ්‍යාපනය රැක ගැනීම සදහා කෙරුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගල සියලුම අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට පොදු උවත් අද ඒ අරගල වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට එහෙරිව කෙරෙන සටන් බවට සිමා වී ඇත. එයද අහම්බයෙන් සිදුවූවක් නොවේ. අනිකුත් වෘතීන්ට සාපේක්‍ෂව වෛද්‍ය වෘතියට ඇති අති මහත් දේශපාලණ බලයත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල මෙහෙය වන්නන් ගේ ආණ්ඩු විරෝධී බවත් අතර ඇති සබැඳියාව අද ඒ සටන සීමිත අභිමතාර්ථ උදෙසා කෙරෙන බල අරගලයක් වීමට හේතු වී ඇති බව පැහැදිලිය. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලයට ජීවය සපයන්නේ ඊනියා පංති භේදයක් පෙන්වා සිසුන් තුල වෛරය වඩවන මෙරටට ආගන්තුකවූ කැම්පස් සංස්කෘතියය

කෙසේ නමුත් මේ වන තුරු කිසිම රජයක් නොමිලේ ලබා දෙන අධ්‍යාපන සේවය නතර නොකරේ මේ ශිෂ්‍ය අරගල නිසා යැයි සිතිය නොහැක්කේ එවැනි සටන් නොමැතිවත් ඊට නොදවෙනි වියදමිකින් නොමිලේ පවත්වා ගෙන යන සෞඛ්‍ය සේවාව නැවත්වීමට කිසිම රජයක් ඉදිරිපත් නොවී ඇති බැවිනි.

අධ්‍යාපනය යනු සමාජය තුල ඉහලට යා හැකි හිනිමගක් ලෙස සැලකිය හැකිය. සුළුතරයකට හිමිව තිබු මේ හිනි මග නිදසස් අධ්‍යාපනය මගින් පොදු ජනතාවට පත් කර දිනි. ඒ මගින් සමාජයේ ඇති විෂමතාවය යම් දුරකට සමනය වුනි. වෙතත් වචන වලින් කිවහොත් සමාජය විසින් නැති බැරි යැයි හැදින් වුන අයට එම සමාජය තුල ඇති හැකි අය බවට පත් වීමට නිදහස් අධ්‍යාපන මගින් හැකි විය. අඩු තරමින් අධ්‍යාපනය ලබෙමෙන් එසේ සමාජ තලයකට යා හැකි බව ජනයා අතර විශ්වාසයක් ගොඩ නැගී තිබුණි. නමුත් අද මේ ක්‍රමය උඩු යටිකුරු වෙමින් පවතී. අද අධ්‍යාපනේ ඇති හැකි යට අවඩාත් ඇති හැකි අය බවට පත්විය හැකි නමුත් නැති බැරි අයට අධ්‍යාපනය ලැබීමෙන් පමණක්, ඔව්න් හා ඇති හැකි අය අතර ඇති පරතරය අඩු කරගැනීමට ඇති ඉඩ කඩ සීමිතය. වර්තමාන අධ්‍යාපනය තුලින් සමාජ විෂමතා ඇති කරවයි. අද අධ්‍යාපනයේ ඇති අර්බුදය මෙයයි. මේම විෂම තාවයත් සමගම එය ජය ගැනීමට කෙරෙන තරගයක් ද වෙයි. අවාසනාවකට මෙන් මෙම තරගයට සහබාගි වීමට හැමෝටම අවස්ථාවක් සැලසී නොමැත.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සැමට අවස්ථාවක් සැලසීම විවිධා කාරයට කල හැකිය. එක විදියක් නම් නිදහස් අධ්‍යාපන එසේත් නැත්තම් රජයේ වියදමින් නොමිලේ සියලු දෙනාටම අධ්‍යාපනය ලබා දීමයි. නුදුරු අනාගතයේ මෙවැන්නක් වේයැයි පතමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීම අනිවාර්ය වේ.

නමුත් එසේ නොවන හෙයින්, සියලු පෞද්ගලික අධ්‍යාපණ ආයතන මඟින් සිදු වන්නේද අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා පුළුල් වීම බව අප අමතක නොකල යුතුය. මේවායේ අධ්‍යාපනය මුදලට විකිනෙන බව සත්‍යය. නමුත් පෞද්ගලික උපකාරක පංති, ජාත්‍යාන්තර පාසල්, විවිධ ඩිප්ලෝමා සහතික සඳහා පාඨමාලා පවත්වන පෞද්ගලික ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල යනාදී මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන සියලු ආයතන මඟින් අති විශාල සිසුන් පිරිසකට අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබා දෙන බව අප පිළිගත යුතුය. බොහෝ විට ඔවුන්ට මේ අවස්ථාව වෙන ආකාරයකින් නොලැබෙනවාද විය හැකිය. මුදල් අය කලත් නොකලත් පොදුවේ අධ්‍යාපනය ලබා දෙන ආයතන වැඩි වීමෙන් සිදු වන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වීමය. සමාජ විශමතාවක් පවතින තාක් කල් සහ අධ්‍යාපනය තුලින් ඒ විශමතාව ජය ගන්නට පොදු ජනතාව අපේක්‍ෂා කරන තාක් කල් අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් මිස ඒවා අඩු කිරීමෙන් සමාජ සාධාරණයක් ඉටු කළ නොහැකිය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීම වැලකිය නොහැක්කේ මේ නිසාය.

නමුත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අද ඇතිවී තිබෙන අර්බුදයට සෘජු හේතුව පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමම නොවේ. ඊට හේතුව පොදුවේ ආධ්‍යාපනය ලබාදෙන සියලු ආයතන මඟින් දෙනු ලබන අධ්‍යාපන වලට විවිධ වටිනාකම් සමාජ සම්මත වීමය. මේ සම්මුතියට අනුව සමාන හැකියාවන් ඇති දරුවන් දෙදෙනෙකු ආයතන දෙකකින් එකම දුරකට උගෙනුම ලැබුවත් ලබන අධ්‍යාපනයේ වටිනාකම වෙනස්ය. බොහෝ විට වඩා වටිනාකමක් ඇති අධ්‍යාපන වල එක්කෝ මිල අධිකය නැත්නම් එය ලබා ගැනීමට සමාජ-දේශපාලණ හයි හත්තියක් අවශ්‍යය. මේ නිසා බොහෝ විට නැති බැරි අය වටිනාකමින් අඩු අධ්‍යාපනයකුත් ඇති හැකි අය වටිනාකමින් වැඩි අධ්‍යාපනයකුත් ලබති. අධ්‍යාපනය තුලින් සමාජ විශමතාවක් ඇති වන්නේ මෙආකාරයෙනි. අර්බුදය මේ විශමතාව සමනය කිරීමට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල ක්‍රම වේදයක් නැති වීමය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවන්ට දෙමව්පියන් ප්‍රථමයෙන් මුහුණ දෙන්නේ තම දරුවන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදීය. එහි දී ඇති හැකි අයට වැඩි වටිනාකමක් ඇති අධ්‍යාපනයක් සැපයේ යැයි පිළිගැනෙන පාසල් වලට තම දරුවන් ඇතුලත් කර ගත හැකි වන අතර නැති බැරි උදවියට හිමි වන්නේ ඊට වඩා අඩු වටිනා කමක් ඇතැයි පිළිගැනෙන පාසල්ය. මේ විවිධ වූ පාසල් වලින් දරුවන් ලබා ගන්නේත් එකම වටිනාකමකින් යුත් දැනුමක් නොවේ. සමහරු දේශීය විභාග වලට මුහුණ දෙන අතර තවත් සමහරු විදේශීය විභාග වලට මුහුණ දෙති. මේවායේද සමාජගත වටිනා කම් වෙනස්ය. මේ විභාග සඳහා වන උපකාරක පංතිද විවිධ මිල ගණන් වලට ඇති අතර ඒ පුහුණුව දරුවන්ට ලැබෙන්නේද දෙමව්පියන්ට ඇති හැටියෙනි. පාසල් අධ්‍යාපනය නිම කරන දරුවෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් විවිධ පාඨමාලා වලට යොමු වෙති. මේ පාඨමාලා වලටද ඇත්තේ විවිධ වටිනාකම්ය. දරුවන් මේ පාඨමාලා තෝරා ගන්නේ තම දෙමව්පියන්ට ඇති හැටියෙනි. මේ අතර සුලු කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබති. මෙතැනදී ද ඇති හැකි දෙමව්පියන් සුලු පිරිසක් තම දරුවන් විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා අතර සෙස්සන්ට හිමි වන්නේ අඩු වටිනාකමක් ඇතැයි සැලකෙන රජයේ විශ්ව විද්‍යාලය. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන තරුණයන්ද තම ඇති හැටියෙන් අමතර පාඨමාලා වලට කාලය සහ මුදල් වැය කරන්නේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීමටය. මේ කිසි දෙයක් කර ගැනීමට නොහැකි වත්කමක් නැති අති විශාල බහුතරයක් තම ප්‍රාර්ථනා කඩ කරගනිමින් සමාජයේ මුල්ලකට තල්ලු වෙති. පොදු සමාජය තුල ඇති විශමතාව එලෙසම අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුලද බල පවත්වන්නේ මේ අයුරිනි.
~උපුටාගැනීමකි~